Saturday, November 5, 2011

සෙනසුරු මාරුව ඔබටත් රටටත් කොහොමද?

ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙන්ම රජයටත් මුළුමහත් ලෝකයටමත් සුවිශේෂී බලපෑමක්‌ ඇති කෙරෙන සෙනසුරු මාරුව මෙම මස 15 දා ට යෙදේ. මෙම ග්‍රහ මාරුව සිදුවීමෙන් පසුව ඇතිවිය හැකි ශුභඵල මෙන්ම අශුභ ප්‍රතිඵල ද මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

අංශක 360 වන රාශි චක්‍රය වටේ සම්පූර්ණ වටයක්‌ ගමන් කිරීමට සෙනසුරු ග්‍රහයාට අවුරුදු තිහක්‌ පමණ ගත වන්නේය. එබැවින් රාශි 12 කින් යුත් මෙම චක්‍රයේ එක්‌ රාශියක්‌ පසු කිරීමට අවුරුදු දෙකහමාරක්‌ පමණ ගෙවෙනු ඇත. ඒ ඒ රාශිවල පිහිටි පඨවි, ආපෝ, තෝජෝ ආදී ගුණ මෙම සෙනසුරුට ගැලපෙන ආකාරය අනුව ශුභ හා අශුභ රාශි නියම කර තිබේ. මෙවර සෙනසුරු මාරුවන්නේ තුලා රාශියටය. එය ඉතා ශුභ හෙවත් උච්ච රාශියයි. සෙනසුරු මීට පෙර වර්ෂ 1952 හා 1955 අතර ද, 1982-1985 අතරද තුලා රාශියේ ගමන් කර ඇත. මෙවර එය 2011 නොවැම්බර්ය සිට 2014 නොවැම්බර් 02 දින රාත්‍රි 8.57 දක්‌වා තුලා රාශියේ ගමන් කරන නමුදු වරින් වර වක්‍ර වීම් වලටද ලක්‌ වන්නේය. එනම් ආපසු ගමන් කරනවාත් මෙන් පෙන්වයි. මේ අනුව

2011 නොවැම්බර් 15 තුලා

2012 පෙබරවාරි 07 වක්‍රවීම

2012 මැයි 16 කන්‍යා

2012 ජුනි 25 නිවෘත

2012 අගෝස්‌තු 04 තුලා

2013 පෙබරවාරි 18 වක්‍ර

2014 නොවැම්බර් 02 වෘශ්චික යන අන්දමට ගමනේ යෙදෙනු ඇත.

සෙනසුරු මාරුවේ පල විපාක පිළිබඳව විමසන විට කේන්ද්‍ර ගණනාවක්‌ පිළිබඳව විමසීමට ද සිදුවේ. කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රය, විශ්ව කේන්ද්‍රය, 2011 සංවත්සර කේන්ද්‍රය 2012, 2013 සංවත්සර කේන්ද්‍ර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍රය, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්ද්‍රය ඒ අතර සුවිශේෂී වන්නේය. ජනතාව කෙරෙහි ඇතිකරන විවිධ බලපෑම් ලග්න 12 අනුව සැලකිය යුතුවේ. මේ අනුව උදාවන ප්‍රතිඵල මෙසේ දැක්‌විය හැකිය.

ලංකා කේන්ද්‍රයේ 9 වැන්නට ඇතුළුවන ශනි එහි බලවත් වීම ශූභඵල උදාකරයි. කේන්ද්‍රයේ නමවැන්න භාග්‍යය, ආගම, උසස්‌ අධ්‍යාපනය, නීතිය, පතල් කර්මාන්ත, මිනිරන් ආදිය ගැන කියන තැනයි. සෙනසුරු ගොවි කම්කරු ජනතාව ඉවසීම, ගැඹුරු කල්පානව, ආදිය ගැන විස්‌තර කරයි.

මේ අනුව පොදු ජනතාවට හෙවත් පොඩි මිනිහාට ශුභ පල දායක කාලයක්‌ උදාවේ. රට කෙරෙහි ලැදියාවකින් හා කැපවීමෙන් ශ්‍රමය වැය කිරීමට ශ්‍රමිකයින් පෙළඹෙනු ඇත. වැඩවර්ජන සටන් ව්‍යාපාර අවම වේ. ඒ අතර කම්කරු හෙවත් ශ්‍රමිකයින් උදෙසා ශුභපල දායක තීරණ ක්‍රියාත්මක වේ. විනය වැඩි වර්ධනය වේ. ගොවිතැන් සශ්‍රීක වන අතර කෘෂිකර්මාන්තයේ පිබිදීමක්‌ ඇතිවේ. කෘෂිකර්මාන්තය උදෙසා නවීන තාක්‍ෂණය යොදා ගැනීම තවදුරටත් පුළුල් වේ. එමෙන්ම සාම්ප්‍රදායික පැරණි ගොවිතැන් ක්‍රම – කෙම්ක්‍රම – සාම්ප්‍රදායික වගාව කෙරෙහි වැඩි නැඹුරුවක්‌ ඇති වන්නේය. එමෙන්ම එයින් සාර්ථක ප්‍රතිඵල අත්වනු ඇත.

නව සොයා ගැනීම් පිළිබඳව වෙහෙසෙන විද්‍යාඥයන්ට ශුභඵල අත්වේ. නව විද්‍යාඥයින් බිහිවේ. ගවේෂණ කටයුතු පුළුල් වේ. මිනිරන් පතල් කර්මාන්තය ඇතුළු පතල් කර්මාන්තවල විශේෂ දියුණුවක්‌ ද, තෙල් ගවේෂණ කටයුතු වල විශේෂ සාර්ථකත්වයක්‌ද අපේක්‍ෂා කළ හැකි වන්නේය.

මැණික්‌ පතල් පිළිබඳව ද නවීන තාක්‍ෂණය යොදාගෙන කරන සංවර්ධන කටයුතු සිදුවේ. කාකනිල් මැණික්‌ වැඩියෙන් හමුවන කාලයකි. මැණික්‌ හා මිනිරන් පතල් සංවර්ධනය කිරීම උදෙසා වගකිවයුතු අයගේ අවධානය යොමු කළ යුතු කාලයක්‌ බව පෙනේ.

ආගම්වල බාහිර සැරසිලි, පුද පූජා, අලංකාරයට නොව අධ්‍යාත්මික දියුණුව කෙරෙහි වැඩිදෙනාගේ අවධානය යොමු වේ. බෞද්ධ දර්ශනයේ අභිධර්මය ප්‍රගුණකිරීමට වැඩි දෙනෙකු නැඹුරු වන අතර ස්‌වාමීන් වහන්සේලා අතරද අධ්‍යාත්මික සංවර්ධනය අපේක්‍ෂාවෙන් භාවනාව කෙරෙහි වැඩි නැඹුරුවීමක්‌ දක්‌නට ලැබේ. ජනතාව අතර අධික වියදම් කිරීමේ ප්‍රවනතාව අඩු වී සකසුරුවම් ගැන හිතන පිරිස්‌ වැඩිවේ. ඒ පිළිබඳව ප්‍රචාරය කෙරේ. ගෘහ නිර්මාණය පිළිබඳව කටයුතු කරන ශිල්පීන්, මේසන්, වඩු කාර්මිකයින්ටද ශුභඵල ලැබේ. විහාරස්‌ථාන, ආගමික මධ්‍යස්‌ථාන, චෛත්‍ය සංඝාවාස, බුදුමැදුරු, බෝධි ප්‍රාකාර ඉදිකිරීම් වැඩිවේ.

දේව භක්‌තියද ඉහළ යයි. දේවාල සංවර්ධනය කෙරේ. විශේෂයෙන් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ බලය අධික ලෙස පැතිරේ. එම දේව පූජා තැබීම් ද ඉහළ යයි.

අලි ඇතුන්ට පීඩා කිරීම්, ඝාතනය කිරීම් වැළැක්‌වීමට නව නීති පැනවේ. අලි ඇතුන් සංරක්‍ෂණය කරන වැඩ පිළිවෙළක්‌ ඇරඹේ. අලි අනාථාගාරවල පහසුකම් වැඩි කෙරේ. මී කිරි නිෂ්පාදනය, ගඩොල් කැපීම යන කර්මාන්ත වල ද දියුණුවක්‌ අපේක්‍ෂා කළ හැකිවේ. සම්භාණ්‌ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත වලද විශේෂ දියුණුවක්‌ ඇති වන්නේය.

එමෙන්ම අධ්‍යාපන අංශයෙන් බලන විට ගණිතය හා ඉංජිනේරු අංශවල උසස්‌ අධ්‍යාපනය සාර්ථකව සංවර්ධනය කෙරේ. දේශීය ඉංජිනේරුවන්ට විද්‍යාඥයින්ට ගවේෂකයින්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ශුභදායක වන්නේය.

එමෙන්ම අධිකරණය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ දැඩි පැහැදීමක්‌ ඇති වන්නේය. නඩු තීන්දු දීමේදී අපක්‍ෂපාතී හා දූරදර්ශී තීරණ ගන්නා බැවිනි.

ඉහත දක්‌වන ලද්දේ සෙනසුරු උච්ච වීමෙන් උදාවන සුබපල දායක අනාවැකි කිහිපයකි. එහෙත් මෙම නොවැම්බර් සිට උදාවන වසර 2 1/2 තුළ දී සෙනසුරු වක්‍රවන කාලය තුළ මෙම ශුභ පල දීමට බාධා ඇතිවේ. ග්‍රහයෙකු “වක්‍ර” වන විට උසස්‌ ශුභ ඵල ඇති කරන නමුදු උච්චව ගමන් කරන ග්‍රහයා වක්‍ර වනවිට නීච හෙවත් දුර්වල වන බව “උන්තරනාලාමෘන” නාරද සංහිතා” ආදී පුරාණ ග්‍රන්ථවල සඳහන්ය.

මේ අනුව 2012 පෙබරවාරි 07- මැයි 16 යන කාලය සහ 2013 පෙබරවාරි ජුලි 2014 මාර්තු – ජුලි යන කාල වකවානුවලදී ඉහත ශුභපල හීන කරමින් වැඩකරන ජනතාව අතර නොසන්සුන් බව මෙන්ම දැඩි සුළං ආදී කාලගුණික විපර්යාසයන් ද ඇති කරන බව පෙනේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බටහිර පළාත තුළ සුළි සුළං තත්ත්වයක්‌ උත්ත වකවානු වලදී ඇති වීමට ඉඩ තිබේ.

තවද සෙනසුරු මාරුව ගැන විමසන විට අනෙකුත් ග්‍රහයින් ගැන සම්පූර්ණයෙන් අමතක කළ නොහැක. මේ අනුව විශේෂයෙන් ලංකා කේන්ද්‍රයේ රාහු නීචව 10 හා කේතු නීචව 4 ගමන් කිරීම ශුභ දායක නොවේ. රහස්‌ සතුරු කුමන්ත්‍රණ, විදේශ ඔත්තුකරුවන්ගේ සතුරු කම්, අපකීර්තිමත් ප්‍රචාරයන් ඒ යටතේ ඇති විය හැකිය.

සෙනසුරු මාරුව සිදුවන්නේ ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රයේ ශනි ඒරාෂ්ටක අපල කාලයක්‌ නිමා කරමිනි. මේ අනුව එතුමාට මෙම ග්‍රහමාරුව ශුභ පල දායක නමුත් ලබන පෙබරවාරි මැයි අතර කාලය නැවත යෙදේ. විපක්‍ෂනායකතුමාග් කේන්ද්‍රයේ ශනි ගමන් කරන්නේ අටවන භාවයට බැවින් ඒරාෂ්ඨක අපලයන් උදාකරවයි.

ශනි මාරුව ඒ ඒ ලග්නවලට බලපාන්නේ මෙසේය

මේෂ ලග්නය – ශුභයි. අනුන්ගේ ආධාර උපකාර බොහෝ ලැබේ. විවාහ සහකරුට ද ශුභයි. රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක්‌ ඇතිවේ. විවාහ අපේක්‍ෂ කරන අයගේ විවාහ සිදුවේ. සතුරන් මර්දනය කෙරේ.

වෘෂභ ලග්නය – රෝගවලින් සුවය ලැබේ. රහස්‌ සතුරු කරදරයන් නිමවේ. ණය වලින් මිදිය හැකි වේ. තමන්ගේ බලය පෙරට වඩා වැඩිවේ.

මිථුන ලග්නය – මුදල් ආයෝජනය කර කරන ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දරුවන්ගේ කටයුතු දියුණුවේ. ඉගෙනීම සාර්ථක වේ. පෙරපින වාසනාව උදාවේ. ලොතරැයි ජය ලැබේ.

කටක ලග්නය – කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට බොහෝ ශුභයි. වතු පිටි පිළිබඳ දියුණුවක්‌ ලැබේ. පැරණි උරුමකම් තහවුරු වේ. මව් පියන්ගේ දේපළ තමන්ට ලැබෙන කාලයකි.

සිංහ ලග්නය – උත්සාහය, ධෛර්ය වැඩිවේ. අසල්වාසීන් හා සහෝදරයින්ගෙන් වෙනදාට වඩා සහයෝගය ලැබේ. විවාහ අපේක්‍ෂකයින්ගේ බලාපොරොත්තු සාර්ථක වේ. බාල සහෝදරයින්ට ශුභ කාලයකි.

කන්‍යා ලග්නය – මෙතෙක්‌ පැවති ඒරාෂ්ඨක අපල කාලය බොහෝ දුරට නිම වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. තැන්පත් ධනයත් ඉතිරිකර ගැනීමට හැකි වන්නේය. කලක්‌ පැවති අසනීප සුව අතට හැරෙනු ඇත.

තුලා ලග්නය – ලග්නයේ ශනි උච්චවීම ශුභයි. ගේ දොර ඉඩ කඩම් පිළිබඳ විශේෂ දියුqණුවක්‌ ඇතිවේ. අලුත් නිවාස ඉදිකර ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කටයුතු සැලසේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ.

වෘශ්චිත ලග්නය – ලග්නයේ රාහු ගමන්කරන නිසා තරමක්‌ දුරට ශුභඵල හීන කරයි. ධෛර්යෙන් කරන කටයුතු අන්තිම මොහොතේ සාර්ථකවේ. විදේශ ගමන් අපේක්‍ෂා කළ අයට එම බලාපොරොත්තු සාර්ථක වේ.

ධනු ලග්නය – ආදායම් මාර්ග ඉහළ යයි. අලුත් මිතුරන් ඇතිවේ. උසස්‌ අයත් ඇසුරට පත්වේ. උත්සාහය, ධෛර්ය ඉහළ යයි. රැකියා අංශවල ප්‍රගතියක්‌ ඇතිවේ.

මකර ලග්නය – රැකියාවේ උසස්‌ වීම් ලැබේ. උසස්‌ අයගේ මෙන්ම කනිෂ්ඨ සේවක පක්‍ෂයේද විශේෂ සැලකිළි ලැබේ. දේශපාලනයේ යෙදෙන මකර ලග්න හිමියන්ට විශේෂයෙන් සුබයි.

කුම්භ ලග්නය – පෙර තිබූ ඒරාෂ්ඨක අපලය නිමවෙනු ඇත. වාසනාව, භාග්‍යය, පෙරපින උදාවේ. ආගමික අංශයට විශේෂ නැඹුරුවක්‌ ඇතිවේ. ශුභයි.

මීන ලග්නය – වැය පක්‍ෂය අධික වේ. අන්තිම කැමැත්ත මත ධනය ලැබෙන කාලයකි. ශනි 8 ගමන් කිරීම නිසා තරමක්‌ අපලයි.

කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත් divaina

No comments:

Post a Comment