Saturday, November 5, 2011

බුදුදහමේ එන කර්මය පල දීමේ ක්‍රියාවලිය තමයි ජ්‍යොතිෂ්‍යයේ ග්‍රහ අපල වලින් දැක්වෙන්නේ

ඔහු විශ්‍රාමලත් දුම්රිය ස්‌ථානාධිපති වරයෙකී. බුද්ධිමතුන්, ජ්‍යෝතිෂය විද්‍යාවට පිවිසීමේ කදිම උදාහරණයක්‌ ලෙස ඔහුගේ චරිතය අපට හැදින්විය හැක. වසර ගණනාවක්‌ තිස්‌සේ නිහඩව ජ්‍යෝතිෂය හා හස්‌තරේඛා විද්‍යාව පිලිබදව විවිධ පරීක්‍ෂණ හා අධ්‍යයන කළ මොහු එයින් ලද පන්නරයෙන් අද වන විට ශ්‍රි ලාංකීය ජ්‍යෝතිෂය හා හස්‌තරේඛා විද්‍යාව නව මගකට යොමු කර තිබේ. ඔහු නමින් දේශමාණ්‍ය සෙනරත් ලියනආරච්චි ය. පොදු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ජ්‍යෝතිෂය හා හස්‌තරේඛා විද්‍යාව යනු කුමක්‌දැයි අල්ප වශයෙන් හෝ අවබෝධයක් ලබා දෙනු වස්‌ ගත් උත්සාහයකි මේ.

අපගේ සංවාදදයේ ප්‍රවේශයක් හැටියට වසර 5000 ක පමණ ඉතිහාසයක් ඇති ජ්‍යොතිෂ්‍ය විද්‍යාවේ ආරම්භය හා විකාශයත් ඒ වගේම වර්තමානයේ ජ්‍යොතිෂ්‍ය විද්‍යාව ගැනත් සැකෙවින් විස්තර කරවාද?

හස්ත රේඛා සහ ජ්‍යොතිෂ්‍ය විද්‍යාව ගත්තම ඒ දෙක කොටස් දෙකක්. මේ දෙකෙන් පළමුවෙන් ම ලෝකෙට පහළ වුනේ හස්ත රේඛා විද්‍යාවයි. අංග ලක්ෂණ විද්‍යාවත් විශේෂයෙන් හස්ත රේඛාවට මූලික වෙලා තියනවා.හස්ත රේඛා ශාස්ත්‍රය ගැන බ‍ලන විට අවුරුදු 5000 කටත් වැඩියි.නමුත් මේ සම්බන්ධව ලිඛිත සාක්ෂි හමුවන්නේ 1449 අවුරුද්දේ බාටලී නැමති පූජකතුමෙක් ලියපු කෘතියකින්. බුද්ධ කාලයේ ඉඳලා අංග ලක්ෂණ විද්‍යාව ,හස්ත රේඛා විද්‍යාව තිබූ බවට හමුවෙන සාධක වලින් ඔප්පු වෙනවා. ඒ නිසා ජ්‍යොතිශය අවුරුදු 5000 කට වඩා පැරණියි කියලා කියන්න පුළුවන්. මොහන්දාජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාර වල හස්ත රේඛා සහිත නටඹුන් හමුවෙලා තිබෙනවා. ඒ වගේම ග්‍රීසිය , මිසරය වගේ රටවල් වලිනුත් විවිධ නටඹුන් හමුවෙලා තිබෙනවා.

ජ්‍යොතිෂ්‍ය විද්‍යාව බොහෝ විට ගණිතමය කාරණා මත තීන්දු තීරණ ගන්නා දෙයක් හැටියට ම කිව්වොත් ඒ පිළිබඳ ඔබගේ මතය මොනවගේ ද?
ඔව්. ගණිතය අවශ්‍යයයි ජ්‍යොතිෂ්‍යයට.ගණිතය පිළිබඳව දැනුමක් නැතිව පලාපල කියන්න බැහැ. මූලික දැනුම ලැබීමට ගණිත සංකල්ප අවශ්‍යයයි.

බෞද්ධ දර්ශනය , මනෝවිද්‍යාව හා නව තාක්ෂණය තුළින් ජ්‍යොතිෂ්‍යය ලබපු පන්නරය කොයි වගේද?
බුදුදහමේ එන කර්මය පල දීමේ ක්‍රියාවලිය තමයි ජ්‍යොතිෂ්‍යයේ ග්‍රහ අපල වලින් දැක්වෙන්නේ. ඒ වගේම බුදුඅහමේ එන අහෝසි කර්මය , ධනාත්මක චින්තනය ආදී සංකල්ප විශාල වශයෙන් ජ්‍යොතිෂ්‍ය විද්‍යාවට මූලික වෙලා තිබෙනවා.

සමාජය තුළ තිබෙන කතිකාවත තමයි මහත්මයාණෙනි ,චක්‍රාවාටයක ඇති ග්‍රහ වස්තුවල චලනය පෘථිවියේ සිටින ජීවිත සමඟ බද්ධ වන්නේ කොහොමද කියන කාරණය ගැන ඔබගේ අදහස කොයි වගේද?

සරල ප්‍රශ්නයක්..අපේ ගැමියන් පවා දන්නවා විවිධ කටයුතු වලදී ඉර හඳ වලින් සිදුවන බලපෑම් කොයි වගේද කියලා. ඉර සහ හඳෙන් සිදුවන බලපෑම් අපිට පෙනෙන්නට සිදු වුනාට අනික් ගෘහ ලෝක වල බලපැම් අපිට පැහැදිළිව දකින්න බෑ. නමුත් යම් කිසි බලපෑමක් ඇති වෙනවා.

නව ග්‍රහයින්ට අමතරව මෑතකදී සොයාගත් ග්‍රහයින් බටහිර ජ්‍යොතිෂ්‍යයේදී වැදගත් තැනක් ගත්තත් ලාංකික ජ්‍යොතිෂ්‍ය තුළ එයට හිමිවී ඇත්තේ නව ග්‍රහයින්ට සාපේක්ෂව ඉතා සුළු වැදගත්කමක්. මේකට හේතුව කුමක්ද?

ඒකට හේතුව මේ ග්‍රහලෝක අපිට ගොඩක් ඈතින් පිහිටලා තිබෙන්නේ. මේ නිසා විශාල බලපෑමක් අපිට ඇතිවෙන්නේ නෑ.බලපෑමක් නැතුවා නොවෙයි. විශේෂයෙන් දැන් සෙනසුරුගෙන් තරම් විශාල බලපෑමක් යුරේනස් , නෙප්චූන් වලින් ඇතිවෙන්නේ නැහැ. බටහිර ජ්‍යොතිෂ්‍ය විද්‍යාවේදී පලාපල බැලීමේදී දශාව නොවෙයි රාශියයි මූලික කරගන්නේ. මේ නිසා දුර තිබෙන ග්‍රහලෝක ගැන බටහිර ජ්‍යොතිෂ්‍ය විද්‍යාවේදී සලකා බලනවා.

ලාංකීය සමාජය තුළ ජ්‍යොතිෂ්‍ය සම්බන්ධව මතයන් බොහෝමයක් පවතිනවා. සෙනසුරු ලැබූ විට අසුබයි. සිකුරු ලැබූ විට සුබ යි,අනෙකුත් කාරණා සළකන්නේ නැතිව සෙනසුරු ලැබූ පමණින්ම අසුබ ද?

වර්තමානයේ ජ්‍යොතිෂ්‍යය සමාජය තුළට තදින් කාවැද්දී තිබෙනවා. ඈපා ලිතෙන් තමයි විශේෂයෙන් ලංකාවේ ජ්‍යොතිෂ්‍යය ව්‍යාප්ත වෙන්න හේතුවක් වුනේ. උගත් පිරිස මේ ක්ෂේස්ත්‍රයට පිවිසීම නිසා විශාල වශයෙන් මෙහි තිබූ දුර්මත රාශියක් ඉවත් වෙලා තිබෙනවා. ඒ වගේම ජ්‍යොතිෂ්‍යය වටිනා ශාස්ත්‍රයක් බව මිනිසුන්ට අවබෝධ කරවීමට මෙය රුකුලක් වෙලා තිබෙනවා. දැන් මිනිසුන් දුර්මත වල එල්ලී නැහැ. දැන් මිනිසුන් මේක ප්‍රායෝගික විෂයක් ලෙස සලකනවා. සෙනසුරු ලැබූ විට ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. අන්‍යාගමිකයන් පවා විශාල වශයෙන් ජ්‍යොතිෂ්‍ය කරා ඇදී එනවා. මිනිසුන්ට ජ්‍යොතිෂ්‍ය සම්බන්ධව හොඳ විශ්වාසයක් තිබෙනවා.

මීලඟට අප හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳ අවධාවය යොමු කලොත් එහි ඇති වටිනාකම කොයි වගේ ද?

වර්තමාන ජ්‍යොතිෂ්‍ය විද්‍යාවට හර්මන් ලුවිස් විසින් රචනා කරන ලද පොත ප්‍රයෝජනවත් වෙලා තිබෙනවා. අද අපි ළඟට පැමිණෙන ජනතාව දෙස බලන විට හස්ත රේඛාව නොමැතිව ජ්‍යොතිෂ්‍යයෙන් පමණක් මේ දේවල් කරන්න පුළුවන් ද කියලා හිතෙනවා. එකම ස්ථානයක එක මොහොතෙ දෙදෙනෙක් ඉපදුනොත් ඒ දෙදෙනාගෙම ජන්ම පත්‍රය එකයි. නමුත් ඒ දෙදෙනාගේ චරිත ලක්ෂණ එක සමාන නෑ. මෙවැනි අවස්ථා වලදී තමයි හස්ත රේඛා ශාස්ත්‍රය වැදගත් වෙන්නේ. ඒ නිසා මෙය ඉතා වැදගත්. හස්ත රේඛාව නොමැතිව ජ්‍යොතිෂ්‍යයෙන් පමණක් පලාපල කියන්න බෑ කියලා මේ කාරණයෙන් ඔප්පු වෙනවා.

මහත්මයාණෙනි , පාරක් පාරක් ගානේ , හන්දියක් හන්දියක් ගානේ අදවන විට ජ්‍යොතිෂ්‍ය කාර්යාල බිහි වෙනවා. එවැනි ජ්‍යොතිෂ්‍යවේදීන් ජ්‍යොතිෂ්‍ය කියන්නේ කුමක්ද කියලවත් හරියාකාරව නොදන්නා අය විය හැකියි. මේවා පාලනයට ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවක් තිබෙනවාද?

මට හමුවූ අමාත්‍යංශ නිළධාරීන් කිහිප දෙනෙකුගේම අවධානය මං මේ සඳහා යොමු කළා. ආහුර්වේද වෙදකමක් කරන්න බෑ සහතිකයක් නැතිව. යම් කිසි පුද්ගලයෙකුට දෙන ඖෂධයක් වැරදුනොත් එය වෙනත් විකල්පයකින් හෝ සුව කරන්න පුළුවන්.නමුත් අපි ළඟට පැමිණෙන්නන් වීශාල ප්‍රමාණයකගේ හිත විනාශයට පත් වෙලා. ඒ නිසා මෙය විශාල වගකීමක්. එක්තරා දේශපාලන පක්ෂයක් යෝජනා කළා මෙය නීතිගත කළ යුතු බව. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අනිවාර්යයෙන් මෙහ නීති ගත කළ යුතුමයි.

අප දන්නා පරිදි සුභ කටයුතු වලට හැරුණු විට බොහෝ විට ජ්‍යොතිෂ්‍යවේදීන් සොයා යන්නේ දුකට පත් හෝ කරදරයට පත්වූ ජනතාව. ඒත් පැමිණෙන ජනතාව ඉහත කී ආයතන වලින් සිදුවන්නේ ඔවුන්ව තව තවත් අමාරුවේ දැමීමයි.මහජනතාව සැබෑ ජ්‍යොතිෂ්‍යවේදීයාව හඳුනා ගන්නේ කෙසේද? සැබෑ ජ්‍යොතිෂ්‍යවේදීයා සතු ලක්ෂණ මොනවාද?

ඔව් ඒ නිසා තමයි මම පැවසුවේ මේ සඳහා සහතිකයක් දිය යුතුයි ,විභාගයක් පැවැත්විය යුතුයි. මෙය නීති ගත කළ යුතුයි. මෙසේ නොමැතිව ජ්‍යොතිෂ්‍යවේදියෙක් හඳුනා ගැනීම අපහසුයි. ලංකාව තුළත් සුදුසුකම් නොලත් ජ්‍යොතිෂ්‍යවේදියන් ඉන්නවා. මෙවන් අය ක්ෂේස්ත්‍රයට පැමිණ ජනතාව නොමඟ යැවීම විශාල අපරාධයක්.

තවත් එක කාරණයක්..නිමිති බැලීම පිළිබඳ ඔබ කොහොමද අර්ථකතනය කරන්නේ?
නිමිති බැලීම , පේන බැලීම ගැන මම දන්නේ නැහැ. ඒ නිසා මං ඒ ගැන කතා කිරීමට සූදානම් නෑ.

පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයකට ලක් වුනු කාරණයක් තමයි සෙනසුරු මාරුව. මෙය ලක්වාසී අපට බලපාන්නේ කොහොමද ?
ඇත්තටම ඉතිහාසයේ මෙවැනි මාරුවීම් සිදුවුණා. 1979 - 1982 , 1951 - 1953 කාල වකවානු තුළ සෙනසුරු හිටියේ කන්‍යා රාශියේ. මේ කාලසීමාවන් ලංකාවේ විශාල ආන්දෝලනයන් සිදුවුනු අවස්ථාවන්. ඒ ානුව බලන කළ මේ අවස්ථාවේ කුමක් සිදුවේදැයි බුද්ධිමතුන් තේරුම් ගනීවි.

ඒ වගේම මේ ක්ෂේස්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන නවකයින්ට මේ පිළිබඳ හැදෑරීමට ලංකාවේ ආයතනයක් තිබෙනවාද?
එහෙම ආයතනයක් මේ වන විට නැහැ. නමුත් උගන්වන තෑන් කිහිපයක් තිබෙනවා.එහෙම තැනක් තිබෙනවා නම් සහයෝගය දෙන්න මමත් කැමතියි. නමුත් දැන් තිබෙන ආයතන වල වුවත් බොහෝ විට තිබෙන්නේ ආර්ථික වාසි සඳහා පමණයි. ජ්‍යොතිෂ්‍යය ඉගෙන ගැනීමටද ඒ පුද්ගලයන් සතු විවිධ ශක්තීන් බලපානවා. මං අද මේ ඉන් තත්වයට එන්න පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එච්.එම්.සී.හේරත් මහත්මයා විශාල සහයෝගයක් දැක්වූවා.

ජ්‍යොතිෂ්‍යවේදීන් බොහෝ විට අනාවැකි කියනවා. ඒවා බොහෝ විට වරදිනවා.මේ නිසා ජ්‍යොතිෂ්‍ය කෙරේ තිබෙන විශ්වාසය බොහෝ දුරට අඩු වෙනවා. මේකට හේතුව මොකක්ද?
බොහෝ විට දේශපාලනය තුළ ඉන්නා අයට සැබෑ තත්වය කුමක්දැයි වටහා ගන්න අපහසුයි. ඔවුන් යම් දෙයක් අකින්නේ තමන්ගේ දේශපාලන රාමුවෙන්. අනාවැකි කීම තුළින් මේ වගේ වටිනා ශාස්ත්‍රයකට කරන විශාල අගෞරවයක් සිදුවෙන්නේ.

අද දකින්නට පුළුවන් විශාල වශයෙන් හිතුමතේට විවාහ සිදුකරගන්නවා. මොවුන් පොරොන්දම් ගැළපීමක් ගැන හිතන්නේ නැහැ.විවාහයේදී මේ පොරොන්දම් ගැළපීම කොතෙක් දුරට සාර්ථකද?

මේවායේ එන සමහර දේවල් බොහෝ විට සාර්ථක අදහස් නොවෙයි. පොරොන්දම් වලින් වැඩි කොටස විහිළුවක්. නමුත් පොරොන්දම් කොපමණ ගැළපුනත් ග්‍රහ පිහිටීම නොගැළපෙන්නේ නම් පොරොන්දම් 20 ම ගැළපුනත් වැඩක් වෙන්නේ නැහැ. නමුත් දෙන්නෙක් පැනලා යනවානම් , ඇත්ත ආදරයක් තිබෙනවානම් ඔවුන්ගේ පොරොන්දම් ගැළපෙනවා.

ඒ වගේම මේ අවස්ථාවේ තව එකක් මතක් කළ යුතුයි. අපේ කේන්දර සටහන පුස්කොළ පත්‍රයක සටහන් කර ගන්නවානම් ඒක ගොඩක් වටිනවා.මොකද එය අපේ සංස්කෘතික දායාදයක් නිසා.‍

ඔබ වැනි බුද්ධිමතුන් මීට වැඩිය ඉහළට ගිය සමාජ මෙහෙවරක් කළ යුතුයි කියලා මං යෝජනා කළොත් ඒ ගැන ඔබ මොනවාද හිතන්නේ?
මං උත්සාහ ගන්නවා ඉදිරියේදී ඒ සම්බන්ධව පියවරක් ගන්. සඟරාවක් හෝ වෙනයම් ක්‍රමවේදයක් සකස් කරලා මිනිසුන් හොඳ මාර්ගයට යවන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

සාකච්ඡා කළේ :- ගාමිණී පතිරණගේ
ඡායාරූප :- ශ්‍රීමාල් ඉරේෂ්

No comments:

Post a Comment