Saturday, November 5, 2011

කාක්කා

ඉස්සර අපේ අම්මා මට නිතර කියන්නේ නිකම් කපුටෙක් වගේ කාක් කාක් ගාන්නේ නැතිව බත් ඉදෙනකල් බලා ඉන්න ලෙසය. නමුත් පසුව මම කරනලද සොයා බැලීම් වලින් අනතුරුව මට වැටහී ගියේ කාක්‍කා යනු නිකම්ම නිකම් කපුටෙක් නොවන බවය.

ඈත අතීතයේ අවුරුදු ‍බොහෝ ගනනක සිට කුකුළා ටත් කලින් අවදිවී මිනිසාට වේලාව දැක්වීමෙන් ‍මූ කරනලද සේවය අතිමහත්ය. කාට වැරදුනත් පරමාණු ඔරලෝසුවට වැරදුනත් කාක්කාට නම් වේලාව වැරදුනේ නැතය. අල්ලපුගෙදර වැට මායිම බිද තම වත්ත ලොකු කරගැනීමව මාන බැලූ සුමනෙ අයියා නඩුවෙන් ජයගැනීමට සිතා උසාවි යන්නටත්.. ඔපිසර මහත්තයාගේ ලොකු පුතාටත් වඩා සම්මාන අරගෙන විභාගය පාස් කිරීමට සිතාගෙන සිටින සමදරා අක්කාටත් වෙනත් ඕනෑම සුභ කටයුත්තක් කරන්න එළියට බහින ඕනෑම කෙනෙකුටත් වෙද රාළහාමි මාමා ගුරු හරුකම් දුන්නේ ” කාක්කා හැඩීමට ” පෙර ඒ ගමන යන ලෙසය. එතරම් මුගේ කටහඩ බලගතුය. තවද කිරි අප්පු මුත්තා හූනියම් කැපූ පසු හතරමං හන්දියේ දොල පිදේනි ගෙනගොස් තැබුවේත් කෙම් පහන් කලේත් මූගේ කටහඩ ඇහීමට කලින්ය.මෙසේ කෙතරම් බලගතු කටහඩක් කාක්කාට ඇතත් එය අමිහිරි බව, පොඩි පුංචි අම්මා කවිකියන්න ගත්විට බාප්පා කියන ” කොවුලෙක් වෙනවද කලු කපුටා ” යන වාක්‍ය‍යෙන් පෙනේය.

තවදුරටත් මාගේ සොයා බැලීම් අනුව වර්ග දෙකක කාක්කෝ සිටිතිය.සිරිමල් අයියා වැනි අධික කලු පැහැයෙන් යුතු , ඇග පත ලොකු අපේ ගම්බද කාක්කා මෙන් නොව අපේ තාත්තා කියන ලෙස ලොකු පුංවි අම්මා බැලීමට ආ මනමාලයා වැනි කොළඹ කාක්කන්ද සිටිතිය.බය නැතිව ගෙදරටම එන කොළඹ කාක්කා අමාරු කාරයෙක් බව අම්මාගේද අදහසය.

වයස තිහ හතලිහ වනවිට මිනිසාගේ හිස නිකට පැහී මහලුවන නමුත් අවුරුදු සීයක් ගියත් මූ කලුපාටය. ඒත් ගෙදරට නාකිවන කිරි මැණීකේ, සිනාසෙනවිට මුතුපොටක් බැන්දා වැනි සිරිමල් අයියා “කාක්කා වාගේ” යැයි කියා විවාහයට අකමැති වීම ගැන මට පුදුමය.කාවන්තිස්ස රජතුමාට ඒ නම පවා ලැබුනේ “කාක වර්ණ තිස්ස” යන නමින් බව ලොකු ඉස්කෝලෙ මහත්තයා කියාදී ඇතය. ඉද හිට හමුවන සුදු කාක්කෙක් අල්ලාගතහොත් ගොස් ඉරිදා පොලේ දී මිනිස්සුන්ට පෙන්නා කීයක්හරි උපයා ගත හැකිබව අපේ ලොකු අයියා නිතර කියයිය. වෙද රාළහාමි මාමා අවුරුද්දට හිසතෙල් ගාන්නේ ” කලු කපුටා සුදු වෙනතුරු ” කියාය. අපේ ලොකු නැන්දාට ලගක සිට කෑම අරුචිය යැයි කියා ඩිස්පැන්සරියට බඩගෑවත් කාක්කාට නම් ඒ අසනීපය නැතය. මූ නොකන දෙයක් නැතය. අපේ ආතාට අනුව කාක්කා කොපමණ කෑවත් උගේ කුසගින්න ‍නොයන අතර රෑට හාමත්වන මූ අත්තෙන් බිමට ඇදවැටේය.අම්මා කියන්නේ මට කාක්කාට වාගේ බඩගිනිවන බවය.ගහේ තියෙන ගස්ලබු ගෙඩිය, වැල ගෙඩිය හෝ අන්නාසි ගෙඩිය ඉදී ගෙන එනබව මුලින්ම දැනගන්නේ කාක්කාය.
පළතුරු වර්ග, බත්, පාන් මාළු පිනි පමණක් නොව මස් මාංශ පවා මූ ගිල දමයි ය.
කාක්කා කාගේ මස කෑවත් උගේ මස කෑමට කෙනෙක් නැති බව කීවත් එය අසත්‍යයක් බව ඇදුම රෝගයෙන් පෙළුන දෝසි නැන්දාට වෙද රාළහාමි ” කපුටු බස්නය ” දීමෙන් පෙනේය.බස් රථයට යටවුන බලු පැටියා සුද්ද කර දරමීමට මූට ගතවන්නේ සුළු වෙලාවක්ය.කපුටු රෑනක් වටවී ඇතිවිට එතන අනිවාර්යයෙන්ම කුමන හෝසතෙකුගේ කුණක් ඇතය.මස් කෑමට ඇති කෑදරකම නිසාම මුගේ ජීවිතය පවා අනතුරේ වැටෙන බව පන්සලේ ලොකු හාමුදුරුවෝ දහම් පාසලේ දී කියාදුන් ලොවැඩ සගරාවේ එන ” ගග යන ඇත් කුණ දැක මස් රසටා – සිදු මැද වැනසුන මෙන් කපුටා ” යන කවියෙන් පෙනේය.

කාක්කාගේ කෑම අතරට ” අගේ ඉදන් කන කෑම ” ද අයිතිය.මේවා කොතෙක් කෑවත් “ලෙඩ කපුටා වැල කන්නේ” ඕනැවට එපාවට බවද පෙනේය.සෙනසුරු අපල දුරු කිරීමේ බලයක් ඇති මූට එළගිතෙල් සමග පහන් තිරයක් දමා කන්නට දුන්විට අපලයන් දුරුවනවා පමණක් නොව මුගේ බඩගින්න නිවෙන බවද මහප්පා කියයිය.තවද උඩහ ගෙදර රතු නැන්දා නිතර ” බලු කපුටු දාන ” දී පින් රැස්කරගනීය.ලොකු අයියාට ඉගැන්නීමට සල්ලි වියදම් කරනවාට වඩා “කාක්කන්ට සුදු ආප්ප අරන්දීම” වාසිදායක බව තාත්තාගේ අදහසය.

අපේ විද්‍යා සර්ට අනුව කාක්කාගේ ජීවිතය ආදර්ශමත් එකක්ය. මිනිසා මෙන් නොව එක් විවාහයකින් සෑහීමට පත්වන මූ මැරෙන තුරුම ඒ කාක්කී සමග ජීවත්වෙයිය.

කාක්කාගේ කූඩුව බොරු ආටෝප නැතුව චාම්ව තිබෙන එකක්ය. ඒත් පොඩි නංගීට “කාක් කූඩෙ” වගේ ඔලුව තියාගෙන ඉන්නැතිව හිස පීරා ගැනීමට අම්මා නිතර කියයිය.මිනිසා මෙන් නොව මූ දිනපතා නෑම කරයිය. වතුර පොල්කට්ටක් පවා මූට ඇතිය. අපේ ලොකු අයියාද “කාක්කා වගේ නාන අය” අතරින් කෙනෙක්ය.ඒ මොනවා උනත් මූගේ දුර්වල කම්ද ඇති බව පෙනේය. ගෙදරට ගෙනෙන කෑම මට හොරෙන් හංගා තබන අම්මාට “කාක්කාට මෙන් ඒවා හැංගූ තැන් අමතක වන” ගතියක් ඇතිබව තාත්තා කියයිය. ළගදී අපේ ලොකු අක්කා ලස්සන බව පැවසූ කොල්ලෙකුට “නරියාට කේජු කෑල්ල දුන් කපුටා” මෙන් තමා ඕවාට අහුවෙන්නේ නැතිබව පවසා ඇතය.

ඒත් වතුර කලයේ අඩියේ තිබූ වතුර ටික ගල්කැට දමා උඩට ගත්තේද කපුටෙක් ය.ගල් ශාස්තරය හොදින් දන්නා නිසා මූට ගලක් ගැසීමට අමාරුය. වෙද රාළහාමි මාමාට වඩා ජ්‍යොතිෂ දැනුමක් මූට ඇතය.කලින් ලියුමක් ‍ටැලිගැරෑමයක් නොඑවුවාට ගෙදරට එන නෑයා ගැන ටක්කෙටම කියන්නට මූ දස්සයාය.කාක්කා හඩනවිට පියවර මැන ශුභ වේලාව දතහැකිබව උඩහ ගෙදර රතු නැන්දා කියයිය.

පොළට ගොස් එනවිට බුරම්පි ආතාගේ කඩේ ලග කපුටු පිහාටුවක් එල්ලා ඇතිබව දැක ඒ බව අම්මාගෙන් විමසූ විට අම්මා කියන්නේ ඒ පණ ඇති කපුටන් බයකිරීමට බවය. ඒත් “දුර තියෙන මොණර පිහාටුවට වඩා ලග තියෙන කපුටු පිහාටුව” හොද බව ගැමියෝ කියතිය.කපුටු පිහාටුවකින් පටන්ගෙන “කාක්කන් හත් දෙනෙක් වමනෙ කළ” කතාවක් අපේ ආච්චි අම්මා මට කියා දී ඇතය.

පොඩි ළමයින් අතර මූ පුරසිද්දය. සෙල්ලම් කරන විට “මොහෙම කැවුම් කොහෙන්දා – කපුටු හොටෙන් ඇහින්දා” කියමින් පොඩි නංගී අප්පුඩි ගසමින් නැටිමට දස්සය. අතුරු මිතුරු සෙල්ලම කරද්දී “උසි කපුටා උසී” කියා කියයිය.
“කපුටු කාක් කාක් කාක් – දොරක ඩේන් ඩේන් ඩේන්” නොදන්නා ළමයෙක් නැතිය. පොඩි එකා යමක් ඉල්ලා කරදර කරන විට ලොකු අක්කා කියන්නේ “ඒක කාක්කා ගෙනිච්චා” කියාය.

බෝධිය කෙතරම් උතුම් වුවත් “කාක බෝධිය”ට මිනිස්සු වදින්නනේ නැතය.
රෝහල අසල “මිනී කාක්කන්” වර්ගයක්ද සිටින බව පැවසේය. රථවාහන දෙපාර්තමේන්තුවට ගොස් පැමිණි තාත්තා කියන්නෙ දොරටුව අසලදී “හරිම කාක්කෙක්” හමුවු බවය.තේවතුර ඕනෑ නම් රබර් වත්තෙන් “කාක් කෝටු” අරන් එන ලෙස අම්මා නියම කර ඇතය.අම්මා එසේ කියන්නේ කුඩා දරකෝටු වලටය. සිංහල සර් වචන ලිවීමේදී අමතක වූ අකුරු ලියන්නට කියන්නේ ද “කාක පාදයක්” දමාය.



මේ අනුව ගේ ළගට වී නිකම් කාක් කාක් ගගා සිටියාට මූගෙන් මිනිසාට විශාල සේවයක් කෙරී ඇතිබව නිගමනය කළ හැකිය

No comments:

Post a Comment