Friday, November 11, 2011

සෙනසුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද!

කන්‍යා ලග්නය


මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්‌ෂා කරන්නේ කන්‍යා ලග්න හිමියන්ට ශනි මාරුව බලපාන ආකාරයයි.

කන්‍යා හිමියන්ගේ දෙවැන්න වූ තුලා රාශියට මෙහිදී ඇතුළුවන සෙනසුරු එහි උච්ච බලය ලබයි. පස්‌වන සහ හයවන භාවවලට අධිපති වෙයි.

කන්‍යා හිමියන්ට ගතවන්නේ සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයකි. ශනි මාරුවෙන් පසුව එම අපල තත්ත්වය බොහෝදුරට සමනය වනවා ඇත. ආදායම් මාර්ග පිළිබඳව තිබූ ගැටලු අඩුවේ. අමනාප වූ හිතවතුන් නැවත පෙර තත්ත්වයට පැමිණේ. හිතට පෙරට වඩා තරමක සහනයක්‌ ඇතිවන්නේය.

කන්‍යා ලග්න හිමි ශිෂ්‍යයින්ගේ ඉගෙනීමට තිබූ බාධා අඩුවේ. පෙරට වඩා ධෛර්යමත් වේ. නිදිමත, අලස, කම්මැලිගති පසුගිය වසර 2 1/2 පුරා පැවැති නමුත් ඒවා අඩුවී යයි. ඉගෙනීම උදෙසා පෙරට වඩා අධික වියදම් දැරීමට ද සිදුවේ.

කන්‍යා ලග්නය හිමි හැම දෙනාටම පොදුවේ බලනවිට ශනි වක්‍රව ගමන් කරන 2012 පෙබරවාරි හා මැයි හැර ශරීර සෞඛ්‍ය පිළිබඳව ගැටලු ඇතිවිය හැකියි. දකුණු ඇස පිළිබඳ ආබාධ, දත් රෝග, කන්වල රෝග, ශ්වසන රෝග විශේෂයි. 2013, 2014 ශනි වක්‍රවනවිට මෙම අපල යෙදේ. එමෙන්ම පවුලේ අයගේ ශුභ සිද්ධිය උදෙසා බොහෝ වෙහෙසවීමටද තැන්පත් ධනය වැය කිරීමට ද සිදුවන කාලයක්‌ බව පෙනේ. මුදල් ඉතිරි කිරීමට දැඩි ලෙස උත්සාහ ගත යුතු කාලයක්‌ද වනවා ඇත.

කෘෂි කර්මාන්තයේ යෙදෙන අයට ද ශුභයි. කෘෂි උපකරණ මිලට ගැනීමට ලැබේ. සෑහෙන ධනයක්‌ ඉතිරි කර ගැනීමට දැඩි වෙහෙසක්‌ ගන්නා බව දැකිය හැකිය. අල වර්ග වන බීට්‌, කැරට්‌, අර්තාපල්, මඤ්ඤොක්‌කා ආදී වගාවන්හි යෙදෙන අයට වඩා ශුභඵල ලැබේ.

එමෙන්ම ගෘහ කර්මාන්තයක්‌ වශයෙන් වළං සහ මැටි භාණ්‌ඩ නිෂ්පාදනය, ගඩොල් කර්මාන්තය හා සම්භාණ්‌ඩ ව්‍යාපාර කරන අයට ධනලාභ ලැබේ. ආදායම් පක්‍ෂය ඉහළ යයි.

කන්‍යා හිමි ආගමික නායකයන්, ගරුතර ස්‌වාමීන් වහන්සේලා අධ්‍යාත්මික දියුණුව කෙරේ යොමු වේ. භාවනා කටයුතුවලින් යහපත් ප්‍රතිඵල ලැබේ. අධ්‍යාපන අංශවලින් ද දියුණුව සැලසේ. නව ශිෂ්‍ය පරපුරක්‌ ඇතිවේ. ශිෂ්‍යයින් වෙනුවෙන් වෙහෙසවීමට ද සිදුවේ. ශිෂ්‍යන්ට කරදර, රෝගාබාධ නිසා ඒ වෙනුවෙන් කාලය වැය කරන්නටද සිදුවේ.

කන්‍යා හිමි මව්පියන්ට ශනි අපල හිමිවන නමුත් දරුවන්ගේ අසනීපයක්‌ හෝ සතුරු කරදරයක්‌ නිසා කරදර විඳීමට සිදුවේ. දරු උපත් අපේක්‌ෂාවෙන් සිටින අයට ඒ පිළිබඳ සෞඛ්‍ය ගැටලු ඇතිවීමට හේතුවේ. විවාහ සහකරුට 2012 මැයි දක්‌වා අපලයි.

කන්‍යා හිමි පෙම්වතුන්ට විවාහය සඳහා පසුගිය කාලයේ පැවැති බාධා ඉවත්වේ. පවුලේ එකඟතාවක්‌ ඇතිවේ. එහෙත් 2012 මැයි පසුවනතුරු විවාහයට ශුභ නැත. ඉන්පසුව විවාහ ස්‌ථිර වේ.

කන්‍යා ලග්නයේ අග නවාංශකවල උපන් අයට ඒරාෂ්ටක අපල නිමවීමට මාස කිහිපයක්‌ ගතවන අතර ශනි අපලයට අදාළ ශාන්තිකර්ම කරගත යුතුවේ. මීට සුදුසු ශාන්තිකර්ම නොවැම්බර් 4 වැනිදා දිවයින" නැකත" අතිරේකයේ පළ කරන ලදී. ඒ අනුව කටයුතු කරන්න.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්













 වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ ශනි මාරුව සිදු වන්නේ කේන්ද්‍රයේ හයවැන්නටය. ඒ අතර රාහු හතේද කේතු ලග්නයේද ගුරු 12 ද ගමන් කරයි.

මේ අනුව කාලයක්‌ තිස්‌සේ ඔබට විරුද්ධව කටයුතු කළ රහස්‌ සතුරන් පරාජයට පත්වන කාලයක්‌ උදාවනු ඇත. විරුද්ධකරුවන් හා සතුරන් මර්දනය කළ හැකි ආකාරයට අමුතු බලයක්‌ ලැබේ. සටන්වලින්ද තරගවලින්ද ජය ලැබිය හැකිය.

මෙයට හේතු වන්නේ ජන්ම පත්‍රයෙන් කියෑවෙන උප පීඩක කර්ම ශක්‌තිය බලවත් වීමය. එනම් ජීවිතයට වරින් වර උදාවන සතුරු හා රෝගවලට හේතු වන අකුසල කර්ම යටපත් වීමයි.

මේ අනුව කාලයක්‌ පැවැති අසනීපවලින් සුවය ලැබේ. නිරෝගී වේ. ශරීර ශක්‌තිය වැඩි වේ. ධෛර්යය ලැබේ. ඉතා හොඳ මෙහෙකරුවන්ගේ සහයෝගය ලැබේ. තමන්ට කරදරයක්‌ව සිටි සේවක සේවිකාවන් ඉවත් වේ. ඒ වෙනුවට හිතවත් යහපත් සේවකයන් ලැබේ. ඔබට දැනට වඩා කිහිප දෙනකුට රැකියා අවස්‌ථා ලබාදීමටද උදව් දීමටද ඉඩ ලැබේ.

හිතට කරදරයක්‌ව පැවති ණය බරින් නිදහස්‌ වීමට ඉඩ සැලසේ. ඒවා ගෙවීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට අවස්‌ථා උදා වන්නේය. සතුරන් මිතුරු වන කාලයකි.

මේ අතර 2012 මැයි දක්‌වා ඔබට තරමක්‌ අවිවේකී ජීවිතයක්‌ ගත කිරීමටද සිදු වන්නේ ගුරු දුර්වලව ගමන් කරන බැවිනි. ලැබෙන ආදායම වියදම් වීමටම කරුණු සැලසේ. කලට වේලාවට ආහාර ගැනීමටද නිදා ගැනීමටද බාධා වන ආකාරයට කාර්ය බහුල බව ඉස්‌මතු වනවා ඇත.

ඔබට විරුද්ධව ක්‍රියා කරන අය දුර්වල කිරීමට උසස්‌ අයගේ සහයෝගය ලැබේ. සතුරන්ට විරුද්ධව ඔවුන්ගේම දෛවය ක්‍රියාත්මක වන කාලයකි. වාසනාවන්ත කාලයක්‌ වේ. සමාජයේ ඔබේ හොඳ නම ප්‍රසිද්ධ වන කාලයකි. සේවකයන් විසින්ම ඔබේ හොඳ ප්‍රචාරය කරනු ඇත. තම අභිමතය පරිදිම වැඩ කිරීමට ඉඩ සැලසේ. ඉඩකඩම් පිළිබඳ නඩුවකට පැටලී සිටියේ නම් එයින් ඉදිරි වසර 2 1/2 තුළ ජය ලැබීමට කටයුතු යෙදෙනු ඇත.

එහෙත් 2012 පෙබ. 07 සිට මැයි 16 දක්‌වාද, 2013 පෙබරවාරි සිට ජූලි දක්‌වාද ශනි වක්‍රව දුර්වල වන කාලසීමාව තුළ මෙම ශුභඵල හීනකර තරමක්‌ අශුභ ඵල උදා කරනු ඇත.

ඔබේ කේන්ද්‍රයේ සෙනසුරු බලවත් නම් ශනිට අයත් කාක නීල මැණික්‌ ගලක්‌ ශනි කවචයෙන් ජීවංකර ශරීරයේ ස්‌පර්ශ වන සේ පැළඳීම මගින් වඩාත් ශුභඵල ඇති වන්නේය. නමුත් මෙය ජන්ම පත්‍ර පරීක්‌ෂාවක්‌ මගින් තහවුරු කරගත යුතුය. උපතින් ශනි දුර්වල නම් නිල් මැණික ඔබට ඉතා අහිතකර ප්‍රතිඵල දෙන බැවිනි.

වෘෂභ ලග්නය හිමි ළදරුවන් නිරෝගී වේ. ශිෂ්‍යයන්ට ඉගෙනීමට අවශ්‍ය උත්සාහය, ධෛර්යය ලැබේ. විවාහ අපේක්‍ෂකයන්ගේ විවාහ සිදු වේ. ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් ගවේෂකයන් වැනි අයට තම ඉලක්‌ක සපුරා ගැනීමට අවශ්‍ය චිත්ත ධෛර්ය හා සේවක සහයෝගය ලැබේ. ලේඛකයන්ගේ හා කලාකරුවන්ගේ කීර්තිය පැතිරේ. ව්‍යාපාරිකයන්ගේ සාර්ථක බව ලබා දේ. ආගමික නායකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා පැවිදි අයට තම ආධ්‍යාත්මික සංවර්ධනයට ඉවහල් වන ඉවසීම, ගැඹුරු ඥනය, තැන්පත් බව අතිශයින් බලවත් වූ ශනි ලබා දෙනවා ඇත. එහෙත් ඒ අහසේ දිස්‌වන ශනි නොව එම ග්‍රහයා නිවේදනය කරන ඔබගේ කුසල කර්ම ශක්‌තිය බවම වටහා ගැනීම මැනවි.

No comments:

Post a Comment