Friday, December 16, 2011

"ශනි ඒරාශ්ඨකය"


         "ශනි ඒරාශ්ඨකය"යන්න ඇසෙත්ම බොහෝ දෙනාට ඇතිවන්නේ යම්කිසි බියකි.ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැති හා එවැනි තත්ත්වයන් පිටතට පෙන්වන අයද ඇතැම් විට ශනි ඒරාශ්ඨකය ගැන සැළකිළි මත්    වෙති.ඒරාශ්ඨක සමයේදී කේන්ද්‍ර හිමියා නොමරා මරන තරම් අපල තත්ත්වයක් ඇති බවට මතයක් තිබීම මීට හේතු සාධකවේ.විශ්ණු දෙවියන්ට වසර 19ක් බටකොළ කවාපු දේව කතාව මේ හා බැදී ඇති පෞරාණික කතාන්දරයකි.එමෙන්ම සිදුහත් තවුසාණන්ට සය වසරක දුෂ්කර ක්‍රියා කාලය තුල ශනි ඒරාශ්ඨකයක් තිබූ බව කියයි.බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් හෙළිකල දැනට පිළිගෙන ඇති බුද්ධ කේන්ද්‍රය අනුව මෙය ප්‍රත්‍යක්‍ෂ සත්‍යයක් බව පෙනී යයි.

    ශනි ඒරාශ්ඨකය ගැන ලියවෙන මෙම ලිපිය පලමුවෙන් ලියවුනේ ඉතා සවිස්තර පාසැල් සිසුවකුට පවා වටහා ගැනීමට පහසු ක්‍රමානුකූල ලිපියක් ලෙසටය. නමුත් ජ්‍යොතිෂ ලිපි ලියන්නන් අනුගමනය කෙරෙන සාම්ප්‍රධායික පිළිවෙතක් නිසාම එම ලිපිය වෙනස් කලෙමි.එය එසේ කලේ හේතුවක් ඇතිවය.මෙම ලිපිය කියවාගෙන යනවිට එය වැටහෙනු ඇත.එබැවින් ඒ ගැන විස්තර කිරීම අනවශ්‍යය.
   ශනි ඒරාශ්ඨකය ගැන විශේෂයෙන් සදහන්වෙතත් එම ඒරාශ්ඨකයේ තද ගතිය අඩු වැඩි වීම ඇතිකෙරෙන විශේෂ තත්ත්වයන්ද ඇත.සමහර විට ඒරාශ්ඨක කාලය කිසිදු කරදරයක් නැතිව ගෙවී යාමද සිදු විය හැක. මෙවැනි තත්ත්ව නිවැරදිව දැකිය හැක්කේ පලපුරුදු දෛවඥයකුටය.මෙම ලිපියේ අරමුණ වන්නේද ශනි ඒරාශ්ඨකය පිලිබද මූලික දැනුමක් ලබාදීම හා ඒවා ජන්ම කේන්ද්‍රයක යෙදෙන ආකරය හා එහි අසුභ ප්‍රභලතාව තීරණය කෙරෙන අයුරු ගැන වටහා දීමක් කිරීමටය.

  ශනි ඒරාශ්ඨකය ආකාර තුනකි.
  1)ජම්ම(ජන්ම) ඒරාශ්ඨකය (චන්ද්‍ර ඒරාශ්ඨකය කියාද හදුන්වයි.)
  2)ලග්න ඒරාශ්ඨකය
  3)අෂ්ටම ඒරාශ්ඨකය
  
   1)ජම්ම(ජන්ම) ඒරාශ්ඨකය (චන්ද්‍ර ඒරාශ්ඨකය)
         ජන්ම ඒරාශ්ඨකය යනු උපතේදී චන්ද්‍රයා සිටි රාශියට ගෝචර ගමනින් ශනි ග්‍රහයා පැමිනීමයි.ශනි ග්‍රහයා සාමාන්‍යයෙන් එක් රාශියක් තුල වසර දෙක හමාරක් ගමන් කරයි.ශනි ග්‍රහයා සදු සිටින රාශියට පෙර රාශියේ(සදුගෙන් 12 වැන්නට) ගමන් කරන වසර දෙක හමාර ජන්ම(චන්ද්‍ර) ඒරාශ්ඨකයේ මුල් අවදිය හා ශනි සදුගෙන් දෙවැන්නේ ගමන් කරන වසර දෙක හමාර ජන්ම ඒරාශ්ඨකයේ අවසන් අවදිය ලෙසත් සැලකේ.ඒ අනුව ජන්ම ඒරාශ්ඨකයේ සම්පූර්ණ කාලය වසර හත හමාරකි.
   2) ලග්න ඒරාශ්ඨකය
          සෙනසුරු ග්‍රහයා දොලොස් වැන්නේත් ලග්නයේත් දෙවැන්නේත් යන ස්ථාන වල ගමන් කරන වසර හත හමාර කාල සීමාව ලග්න ඒරාශ්ඨක අපල කාලයයි.
   3) අෂ්ඨම ඒරාශ්ඨකය.
         ශනි ග්‍රහයා කේන්ද්‍ර හිමියාගේ ලග්න රාශියේ සිට අටවන රාශියේ ගමන් කරන වසර දෙක හමාර කාලයයි.

  මෙම ඒරාශ්ඨක වල අසුභ ඵල අඩුවැඩි වන අවස්ථා හා ඒ සදහා බලපාන හේතු සාධක කරුණු
    * මෙම ඒරාශ්ටක වලින් වැඩිම අසුභ බලපෑමක් ඇතිවන ඒරාශ්ඨකය ඒ ඒ ලග්න හිමියාගේ උපන් කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ගතකෙරෙන දශා ක්‍රමය අනුව තීරණයවේ.
    * ලග්න ඒරාශ්ඨකයේ වැඩිම අසුභ බලපෑම ඇති කාලය ලෙස සැලකෙන්නේ ශනි ලග්න ස්ඵුථයේ සිට දෙපස අංශක 60 තුල (ලග්න ස්ථුථයේ සිට ඉදිරියට අංශක 30ක් හා පසුපස අංශක 30) ගමන් කරන වසර 5 කාලයයි.
    * ශනි මහ දශා අතුරු දශා ඇති විට අපලයේ බලපෑම වැඩියි.සදු මහ දශාව ඇති විටද චන්ද්‍ර(ජන්ම) ඒරාශ්ඨක අපල වැඩිය.   
    * ලග්න ,ජන්ම හා ජන්ම,අෂ්ටම ඒරාශ්ඨක දෙකක් එකවර යෙදෙන අවස්ථාවල අපල වැඩියි.මේ අනුව උපතේදී සදු ලග්නයේ සිටින අයට ලග්න ඒරාශ්ඨක කාලයත් උපතේදී සදු අටේ සිටින අයට අෂ්ඨම ඒරාශ්ඨක අපල කාලයත් වැඩි අපල දේ.
    * තුලා,ධනු,මකර,කුම්භ ලග්න ඇසුරින් ඒරාශ්ඨකය හැදෙන විට අපලයේ බලපෑම අඩුවේ.එමෙන්ම උපතේදී ශනි ග්‍රහයා මෙවැනි රාශිවල පිහිටන විටද ස්ථාන වශයෙන් බලවත් වන විටද අපලයේ අසුභ බලපෑම අඩුවේ.
    * කටක රාශිය ඇසුරෙන් ඒරාශ්ඨකය සෑදෙන විට අපල බලපෑම වැඩියි.
    * ලග්න ඒරාශ්ඨකයේ සම්පූර්ණ වසර හතෙන් භනි දෙවැන්නේ ගමන් කරන වසර දෙක හමාර අනිත් වසර පහට වඩා අපල අඩු වුවත් උපතේදී සදු දෙවැන්නේ සිටින අයට එම වාසිය අඩුයි.
    * උපතේදී සදු තුනේ එකොලහේ සිටින අයට ලග්න ඒරාශ්ඨක අපලයත් හතේ හා නවයේ සිටින අයට අශ්ටම ඒරාශ්ඨකයත් ඇතිවන විට අපල කාලයන් දීර්ඝ වන්නේ චන්ද්‍ර ඒරාශ්ඨකයේ බලපෑමත් අදාළ ඒරාශ්ඨක වලට පෙර හා පසු ඇති වන බැවිනි.
    * ශනි ග්‍රහයා උපතේදී සදු සිටින රාශයෙන් අටවන රාශියේ ගමන් කරන විටද අපල කරදර ඇති විය හැක.

 මෙම විස්තරය කියවූ විට ශනි ඒරාශ්ඨක අපල නැති කාලයක් ඇත්තේම නැති බවත් කුමන හෝ ආකාරයේ ඒරාශ්ඨකයක් සෑම විටම වාගේ යෙදෙන බවට වැරදි වැටහීමක් ඇති වීම පුදුමයක් නොවේ.මිනිසකුගේ ජීවිත කාලය තුල ඉහත සදහන් කල ඒරාශ්ඨක අපල නොයෙදෙන කාල සීමාවන් අඩු මෙන්ම වැඩිපුර ඇත්තේ අපල කාල සීමා මිස හොද කාලයන් නොවේ යැයි ඔබට සිතුනත් ශනි ඒරාශ්ඨකයක් සෑම විටම බල නොපවත්වයි.කෙනකුගේ ඒරාශ්ඨක කාල යෙදෙන්නේ කෙලෙසද ඒවායේ බල දුබලතා කෙසේද? ඉන් ආරක්‍ෂා වීමට කළයුතු වත් පිළිවෙත් මොනවාද යන්න පළපුරුදු දෛවඥයකු ලවා පරීක්‍ෂා උපදෙස් කල යුතුය.මේ පෝස්ට් එක කියවූ පමනින් "අපි දැන් ශනි ඒරාශ්ඨක ගැන දන්නවා,දැන් අපිටම අපේ ඒරාශ්ඨක කාල ඇතිවන අයුරු දැනගත හැකියි" යනුවෙන් සම්පූර්ණ නිගමනයකට කිසිවෙකුට පැමිනිය නොහැක.යම් තරමකින් එය කල හැකිය.

 ශනි ඒරාශ්ඨකය ගැන සදහන් වෙනත් විශේෂ කරුණු.
    * කුඩා කලදී ශනි ඒරාශ්ඨකයක් ලැබූ විට ලෙඩ රෝග පීඩා වැඩිය.අරිෂ්ඨ මුරණ්ඩු කම් වලින් දෙමාපියන්ට කරදරවේ.දෙමාපියන්ට දරුවා එපාවෙන තරමට එය වැඩිවේ.වැටීම් ගැටීම් තුවල අනතුරු අත්පා බිදීම් ඇතිවේ.ශරීරය කෙට්ටුවේ.
    * ඉගෙන ගන්නා වයසේදී ලැබූ විට අධ්‍යාපනය එපාවෙයි.නිවෙස් වලින් පැන යන ළමයින් බොහෝ දෙනා ශනි ඒරාශ්ඨක ගත කරන්නන්ය.උපතේදී අධ්‍යාපන යෝග හා වෙනත් බලවත් යෝග නැත්නම් අධ්‍යාපනය කඩාකප්පල් වීමම සිදුවේ.
    * රැකියා කරන තරුණ වයසේදී ලැබූ විට ඒරාශ්ඨකය ලැබූ මොහොතේ සිට රැකියා පීඩා ඉස්මතුවේ.හිතුවක්කාර මුරණ්ඩු ගති නිසා රැකියාව නැති කර ගනී.අමුතු උඩගු ගතියක් ඇතිවේ.රැකියා සොයමින් ඇවිදියි.ශරීරයේ තුවාල වීම්(වම් කකුල) අසනීප ඇතිවේ.ණය වෙයි.සිත් තැවුල් ඇතිකර ගනී.අපලය දරුණු වන විට දිවිහානි කර ගැනීමට සිතුනත් කිසිවිටෙක එසේ නොකරයි.ඒරාශ්ඨකය නිමවෙද්දී ඉබේම රැකියා ධනය දියුණුව ඇතිවේ
     * විවාහයෙන් පසු ඒරාශ්ඨකය ලැබූ විට තමාට මෙන්ම විවාහ සහකරු සහකාරියටද අපල කරයි.බව බෝග වගාවේ සිට සියළු අංශයෙන්ම දියුණුව අඩාල කරයි.විවාහයේ මුල් වසර කීපය තුල ශනි ඒරාශ්ඨක යෙදෙන විට තත්ත්වය බරපතලය.විවාහපේක්‍ෂිත යුවලකගේ විවාහයට සුදුසු කාලය බලන්නේ උක්ත කරුණ හේතුවෙනි.ඒරාශ්ඨකය ගෙවෙන විට කරදරද ක්‍රමයෙන් අඩුවී යයි.
     * අවු 30ට වැඩි වයසේදී ශනි ඒරාශ්ඨක ලබන බොහෝ දෙනෙකු එම ඒරාශ්ටක ලබන්නේ දෙවැනි (හෝ ඊට වැඩි) වරටය.කලින් ඒරාශ්ඨක වලින් බැටකා පදම් වී ඇති නිසා ඒරාශ්ඨක අපලය විඳදරා ගැනීමේ හැකියාවක් ඇත.කෙසේ වුවත් තත්වය බාලවේ.කීර්ති ප්‍රශංසා අඩුවී නින්දා අපහාස වැඩිවේ.වැඩි කල එළි බැසීමක් නැති සැගවී සිටින ස්වභාවයකි.
     * මැදි වයසේදී ශනි ඒරාශ්ඨක ලැබූ විට එක්වර වයසට ගිය කම පෙනේ.ෆෙෂර්,කොලොස්ටරෝල්,දියවැඩියා වැනි ජීවිත කාලයටම බලපෑ හැකි අසනීප සාදයි.ශරීරය අබල දුබල කරයි.උප්පත්තිය බලවත් අයට ඒරාශ්ඨකය ගෙවී යන විට නැවත ඒරාශ්ඨකය ලැබීමට පෙර පැවති තත්ත්වය මෙන් ශරීර සෞඛ්‍ය,ශක්තිය ඇති කරයි.
     * මහළු වයසේදී ඒරාශ්ඨකය ලැබූ විට ඉතා දුක් කරදර පීඩා විදියි.ලෙඩ දුක් වැඩියි.තමන්ගේ වැඩ කටයුතු තනිවම කරගැනීමේ හැකියාවද නැතිව යයි.අත්පා බිදීම් වලින් එක තැන් වීම් ඇති කරයි.

ශනි ඒරාශ්ඨක අපලයට ප්‍රතිකර්ම


කපුටු දානය දීම  
 සෙනසුරාදා දිනවල පාන්දර අවදිව හිස්බඩ කතා නොකර පිරිසිදුව හා නොඉදුල්ව කැකුළු සහල් හුන්ඩු 2ක් පමණ ගෙන සෝදා පිරිසිදු කර නැවුම් මුට්ටියකට දමා කිරිබත සකස් කිරීමට අවශ්‍ය පරිදි ලිප තබා දරදමා කොළ කැබැල්ලකින් ගිනි අවුලා(ලිපට කටින් පිඹින්න එපා.) අළුත් පොල් ගෙඩියක් ගෙන තමාම මිරිකා කිරි දමා (දානය දෙන තෙක් පොල් රොඩු පවා ඉදුල් නොකොට සතුන්ට නොදී ප්‍රව්ශම් කරන්න.) කිරිබත පිස ලිපෙන් බා න්න පෙර එළගිතෙල් මිශ්‍ර කොට ගුලි නවයක් සාදා ගන්න.අනතුරුව තමා පදිංචි භූමියේ ඉතා පිරිසිදු තැනක අඩි 5ක් පමණ උස මැස්සක් ලී වලින් තනා ඒ මත කෙසෙල් කොළ අතුරා සුවඳ පැන් ඉස නුග කොළ නවයක් නෙළුම් මලක ආකාරයට තබා ඒමත කිරිපිඩු 9 ය තබන්න.ගිතෙල් පහනක්ද ඒ අසලම දල්වන්න.(කිරිබත් ගුලි සෑදීමේදී ගිතෙල් වල පෙගූ පහන් තිර මැදිවනසේ ගුලි සාදා ගත හැකි නමුත් නයිලෝන් පහන්තිර යෙදීම කපුටාට මාරාන්තිකයි.) පහන් තිර 100%ක් කපු රෙදි වලින් හෝ කපු පුළුන් වලින් සකසා ගන්න.කපුටන්ට අඩගසා ගිතෙල් මිශ්‍රිත කිරිබත් දානය දී එදෙස සතුටු සිතින් බලා සිටින්න.සෙනසුරු වාහනය වු කපුටාට දෙන මෙම දානයෙන් මාහට(අපහට) ඇති ශනි අපල කරදර අඩුවේවායි ප්‍රාර්ථනා කරන්න.

*කපුටු දානය සෙනසුරාදා දිනවල උදේ 6 -7 අතර දීම වඩාත් සුදුසුය.(ශනි හෝරාව)
 * කපුටන් සොයා ගැනීමට අසීරු විට විහාරස්ථාන ආදියේ කලාට කම් නැත.මුහුදු වෙරළ,කුනු කසල ඇති තැන් මස් වෙළද සැල් වැනි අපිරිසිදු ස්ථාන වලදී කපුටු දානය දීම සුදුසු නැත.


 සෙනසුරු අපලයට සිදු කෙරෙන විශේෂ බෝධි පූජාව
  සෙනසුරාදා රාත්‍රී 7 ට පමණ පන්සලට ගොස් බෝධිය අසළ මල් ආසනයේ පැත්තක පහන් 13ක් බුලත්  කොළ මත තබා දල්වන්න.මෙයින් පළමු පහන් තුන ත්‍රිවිධ රත්නය වෙනුවෙන්ද(මැද පහන බුදුන්ට බව මෙනෙහි කරන්න)ඊලඟ පහන බෝධීන් වහන්සේ වෙනුවෙනි.ඉතිරි පහන් නවය නව ග්‍රහයන් වෙනුවෙන් දල්වන්න.නවග්‍රහ පහන් නවය මත පඩුරු තබන්න.එම පහන් නවය අතර නිල් හා සුදු මල් අතුරා හදුන් කූරු දල්වන්න.පූජාව අරඹන දිනයේ හා අවසන් දිනයේ නිල් හා සුදු මල් මාලාවලින් බෝධිය සරසන්න.මෙම පහන් පූජාවෙන් පසු බෝධි පූජාව පවත්වන්න.
   බෝධිය නෑවීම සදහා පිරිසිදු වතුර නැවුම් පොඩි කළයකට ගෙන හිස මත තබාගෙන බෝධිය වටේ තම දකුණත බෝධිය පැත්තට යොමු කර පැදකුණු කර වතුර කළයෙන් හත්වරක් බෝධිය නහවන්න.ඉන්පසු මෛත්‍රී භාවනාව කරන්න.ශාසනාරක්‍ෂක දෙවියන්ට පින් දෙන්න.විශ්ණු දෙවියන්ටද පින් පමුණුවා සෙනසුරු අපල මිදීමට පිහිට පතන්න.


 සෙනසුරු පූජාව
     නිල් පැහැ මල් වර්ග ,ගිතෙල් මිශ්‍ර කිරිබත් ගුලි නවයක්,පළතුරු,උක්සකුරු,පස්ගෝරස,තැඹිළි ගෙඩියක් පූජා වට්ටියක තබා සෙනසුරු දේවාලයක් හෝ නුග රුකක් පාමුල පහත ගාථාවන් කියමින් සෙනසුරු පූජාව කරන්න.සුවද දුම් අල්ලන්න.සෙනසුරු අපල මිදීමට පිහිට පතන්න.ඉතාම පවිත්‍රව කළ යුතුය.


  වරුන දිසාධිපති ශනි රාජා වෘක්‍ෂ නුගෙ
  නීලමාණික්‍ය විමානේ වාහනේ ගරුඩං
  යුතං ශනිවරං නීල වර්ණව භෝජනම්
  නිත්තෙන් මම නමදිම් මුදුන් දී වදිම්
  නීලංග රාජා නමෝ නමෝ .....///


 මෙසේ සෙනසුරාදා දින නවයක් කපුටු දානය හා බෝධි පූජාව කරන්න. සෙනසුරු පූජාව අවසාන සෙනසුරාදා දිනයේ සිදු කරන්න.


 මහළු කොර අයට,ආබාධිත අයට,හිගන්නන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීම
  (මෙවැනි අයට දන් දෙනවාට වඩා සිල්වත් ගුණවත් අයට දන් දීම වඩාත් ඵලදායි නොවේ දැයි කෙනෙකුට සිතිය හැක.මෙවැන්නන්ට සංග්‍රහ කරන්නේ ශනිට නීච ස්වභාවයක් ඇති බැවිනි)


 පැලදිය යුතු යන්ත්‍ර හා ආභරණ
    නීල මණ්ඩලය,ශනි මෘතුංජය,විශ්ණු ආඝෝරය යන්ත්‍ර වලින් යන්ත්‍රයක් පැළදීම.
    කාක නිල්,නිල් මැණික් 


 හිමි වෘක්‍ෂය
   නුග වෘක්‍ෂයට සාත්තු කිරීම,ස්පර්ශ කිරීම,සෙවනේ සිටීම


 ඔබට ඇති ශනි අපලයේ ස්වභාවය අනුව මෙම පිළිවෙත් කළ යුතුය.ශනි අපලය සුළු එකක් නම් පිළිවෙත් සියල්ල කිරීම අනවශ්‍යයි.
 ඔබ බෞද්ධයකු නොවී අන්‍ය ආගමිකයකු නම් තමන්ගේ ආගමානුකූලව කටයුතු වතාවත් කර ශනි අපලයෙන් මිදීමට පිහිට පතන්න.